පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
පරිවර්තකගේ පෙරවදන
අවුරුදු 2500 ඈත අතීතයේ, බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ සිටම, භාවනාව දියුණු කර ගැනීමට සහ බුදුන්ගේ ඉගැන්වීම් වල සත්‍යතාවය හා ධර්මය සාක්ෂාත් කර ගැනීමේ අටියෙන් ඝන වනාන්තරය තුළ, වන ලැහැබ් වල, කඳු ශිඛර මත, ලෙන් ගුහා ඇතුළත හුදකලාව සොයා නික්ම ගිය භික්ෂූන් වහන්සේලා එදා මෙන්ම අදත් වැඩ සිටිති. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසු තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් අපිස් බව, දැඩා සංවරය, නොපසුබට වීර්යය පදනම කොට ගෙන අල්පේච්ච තපස් දිවි ගෙවන උතුමන්ලා අතරට විශිෂ්ටතම භාවනා ගුරු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද ඇතුළත් වෙති. නගරාසන්න සහ ගම්බඳ පරිසරයෙන් බොහෝ දුරස්තරව කටුක දුක් කම්කටොළු කැමැත්තෙන්ම විඳ දරාගෙන, ස්වභාව ධර්මයෙන් ඉගෙනීමට අවස්ථාව සලසා ගත්, වන දිවියෙන් තෘප්තිමත් වන; ලෝකයාගෙන් ලැබෙන ප්‍රශංසා, ගරු බුහුමන්, ප්‍රසිද්ධිය ගැන නොතකා වනයෙහි සැඟවී ගත් මෙම වනවාසී ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කථාද එලෙසින්ම වනයේ කටු ලැහැබ් හා කඳු ශිඛර අතර අතුරුදහන්ව ඇත.
මෙම ග්‍රන්ථය එවන් භික්ෂූන් වහන්සේ නමකගේ චරිතාපදානය වේ. උන්වහන්සේගේ අභාවයෙන් පසු ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උනන්දුවක් දක්වන භික්ෂූන් වහන්සේලා, භික්ෂූනීන් වහන්සේලා හා ගිහිභවතුන්ගේ අභිවෘර්ධියට යහපතක් වේයයි යන අදහසින් එය අතුරුදහන්වී යාමට ඉඩක් නොතබා සිය ජීවිත කථාව අජාන් තේට් ස්වාමීන් වහන්සේ පිටපත් කර තැබූහ. ලාබාල වියේ සිටම, වනගත භික්ෂූන් වහන්සේලා ඇසුරෙහි තමා ලත් අත්දැකීම් වල පටන් මෑත යුගයේ විශිෂ්ටතම ගුරු ස්වාමීන් වහන්සේ නමකගේ තත්ත්වයට පත්වන තෙක් සිය ජීවිත කථාව උන්වහන්සේ මෙහි විදහා දක්වති. මෙය, අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් පිළිබඳ විස්තරයක්ම පමණක් නොව උන්වහන්සේගේ පුද්ගලික ධර්ම ගවේශණයද පිළිබඳවවූ විස්තරයක්ද වේ. එකල තායි ගම්බඳ සංස්කෘතිය දෙස ඓතිහාසික දෘෂ්ටි කෝණයකින් විමසා බලමින් ඒ පිළිබඳව අන් තැනෙක සඳහන් නොවන අන්දමේ විස්තරයක් හා බෞද්ධ භාවනාව පුහුණු කරන ආකාරය පිළිබඳ උපදෙස් සහ මෙනෙහි කර බැලීම් මෙහි අඩංගු කර ඇත.
අපවත්වී වඳාළ භාවනා ගුරු උපදේශක ස්වාමීන් වහන්සේලාගේ චරිතාපදාන සමහරක් ගිහි භවතුන් අතින් ලියවී ඇතත් ඔවුන්ට දැන ගැනීම සඳහා ඉතිරි වූයේ එම ගුරු උපදේශක ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයට බලපෑ වැදගත් කරුණු පමණක්ය. ඉන් සමහරක් චරිතාපදාන, ගුරු ගෞරවයෙන් කෙරෙන හුවා දැක්වීම් වලට සීමාවී ඇත. අජාන් තේට් ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා තදින්ම බලපෑ සිද්ධීන් සෘජුව, එළිපිටම හෙළිදරව් කර සිටින්නේ යට ගසා ගැනීමට කිසිවක් ඉතිරි කර නොගනිමින්ය.
තායිලන්තයේ ඊසාන දිග වනගත සම්ප්‍රදායේ මෑත කාලීන භාවනා “ගුරුපියාණන්” වහන්සේලා ලෙස හැඳින්වෙන අජාන් මං බූරිදත්ත සහ අජාන් සාඕ කාන්තසීලො ස්වාමීන් වහන්සේලා සමග ඉතා සමීප ඇසුරක් තම පුහුණුවේ මුල් අවධියේදී පවත්වා ගැනීමට වාසනාලත් උන්වහන්සේලාගේ වැඩිහිටි ගෝලනමක් ලෙස අජාන් තේට් ස්වාමීන් වහන්සේ හඳුන්වාදිය හැකිය. බොහෝ පාඨකයින් හට වනගත භික්ෂු සම්ප්‍රදාය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති වූවත් ඒ ගැන යම් අන්දමක හෝ දැනුමක් ඇති පිරිස අරමුණ වශයෙන් තබා ගෙන අජාන් තේට් ස්වාමීන් වහන්සේ මෙම චරිතාපදානය ලියා ඇත. එම නිසා එම ජීවන රටාව පිළිබඳ කෙටි විස්තරයක් මෙහි සඳහන් කිරීම වටනේය. එකල තායිලන්තයේ ගම්බඳව සහ නගරබඳව පිහිටි ආරණ්‍ය බොහොමයක්ම අධ්‍යාපනයටම කැපවූ ඉගෙනීමේ මධ්‍යස්ථාන විය. ඒවා මූලිකත්වය දෙන ලද්දේ ධර්ම ග්‍රන්ථ හැදෑරීමේ සහ පුද පූජා පැවැත්වීමේ කටයුතු සඳහාය. උන්වහන්සේලා බොහෝ නමක් බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති සිතට එකඟව අනුගමනය නොකරන, අඩුතරමින් දෙවේලක්ම හෝ සමහර විට තුන්වේලම ආහාර ගන්නා, භාවනාව පිළිබඳ සැලකීමක් නොදැක්වූ අය වූහ.
තායිලන්තයේ වනගත භික්ෂු සම්ප්‍රදාය පුනරුත්තාපනය කිරීම, බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම පුහුණුව සඳහා යොදාගත් ජීවන රටාව නැවත නඟා සිටුවීමට ගත් ප්‍රයත්නයක් ලෙස හැඳින්වීම නිවැරදිය. නිදහස, සාමය, නිහඬතාවය සහ විවේකය සොයා උන්වහන්සේලාට ගම්බඳ ආරණ්‍ය හැරදමා යාමට සිදු විය. විස්තරාත්මක අයුරින් විනය නීති අකුරටම පිළිපැදීම මෙම සම්ප්‍රදාය අනුගමනය කරන ප්‍රතිපත්තියක්ය. මුදල් පරිහරණය මුළුමණින්ම අත්හැර දැමූ මුන්වහන්සේලා පිංඩපාත ආහාරයෙන් යැපෙන අතර ආහාරය පිණිස යමක් නොලත් විට එය විඳදරා ගැනීමට පුරුදු වන්නාහුය. බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළ තපස් දිවියක් ගත කරන මුන්වහන්සේලා: එක් වේලක් පමණක් පාත්‍රයෙන් වළඳති, සිවුරු දිරාපත්වන තෙක් හඳිති, වනයෙහි හෝ සුසානභූමි වල හෝ සරල නිමහන් වාසය කොට ගනිති. පාවහන් නොපළදින මුන්වහන්සේලා භාවනාවට යෝග්‍ය තැන් සොයමින් තැනින් තැනට වඩින්නේ තමන් සතු සියළුම දේ රැගෙනය. එනම්: පාත්‍රය, තුන් සිවුර, කූඩාරමක් ලෙස ගසක එල්ලා ගැනීමට හැකි මදුරු දැල සහ පුද්ගලික පරිහරණය සඳහා බෙහෙත් ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය සුළු දේවල් කිහිපයක්ය. වනගත භික්ෂු සම්ප්‍රදායේ මූලික හරය ලෙස ගැනෙන්නේ භාවනාව දියුණු කර ගැනීමය. ඉතා ගැඹුරු භාවනා අවධීන් පුබුදු කොට ගෙන ක්‍රමානුකූලව ශරීරය සහ මනස විභේද කර බැලීමෙන් පැවැත්මේ සත්‍යතාවය වෙත එළඹීමට හැකියාව ඇති කර ගන්නේය. භාවනාව දියුණු කර ගෙන යාමේදී මුහුණ දීමට සිදුවන බාධක බොහෝය. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මාර්ගයෙහි අවසානය දක්වාම ගමන් ගෙන, තම අභිමුඛයට එන බාධක වලට අභීතව මුහුණ දෙමින්, නීවරණයන්ගෙන් සහ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කර ගැනීම සඳහා නිර්මානය කර ගත් සුවිසේශ උපක්‍රම හා ක්‍රියාදාමයන් ගැන මෙම වනගත ගුරු ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධියක් දරති.
තායි භාෂාවෙන්, තායි වැසියන් අරමුණු කොට ගෙන උන්වහන්සේ මෙම පුස්ථකය සම්පාදනය කළේ එය අන් බසකට පරිවර්තනය වේයයි යන හැඟීමකින් තොරවය. මෙම ශතවර්ෂයේ මුල් භාගයේ ආසියාතික රටවල පැවති ගම්බඳ සංස්කෘතියට අනුව ගම් වැසියන්ගේ ජීවන රටාව හා ගැහැණුන්ට සහ පිරිමින්ට පැවරුණු සමාජයීය වගකීම් පිළිබඳ නිරූපණයක් මෙහි දැක් වේ. අත්‍යන්ත සත්‍යය අත්දැකීම්, වකවානුවට සහ තැනට ඔඹින අයුරින් එකල පැවති සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රකාශ කිරීම උදක්ම ප්‍රායෝගිකය. තවදුරටත්, මෙහි අඩංගු කරුණු නවක භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බහාලන ලද උපදෙස් සහ අනතුරු හැඟවීම්ය. ඒ කෙසේ වෙතත්, අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ අකාලික, ප්‍රඥාවේ සත්‍යතාවය ඉදිරියටත් බබලන්නේ එය යම් වකවානුවකට හෝ සංස්කෘතියට කොටු වීමකින් තොරවය.
අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ පා ගැටුනු හා විස්තර කරන ලද එම නිවර්තන කලාපීය ඝන වනාන්තර උන්වහන්සේගේ ජීවිත කාලය තුළදීම මුළුමනින්ම වාගේ විනාශයට පත් වෙමින් ඇත. ඉතිරිව ඇති සුළු කොටසවත් බේරා ගැනීමේ අටියෙන්, එය විනාශ කර ගෙන යාමේ වේගය මඳක් හෝ අඩු කර ගැනීම සඳහා වතාවරණය රැක බලා ගැනීමේ හා ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක මෙම ස්වාමීන් වහන්සේලා පෙරමුණ ගෙන සිටිති. බොහෝ ප්‍රදේශ වල වනාන්තරය ලෙස දැනට ඉතිරිව ඇත්තේ ආරණ්‍යය සීමාවන් ගෙන් කොටුවූ වනපෙත් පමණි.
අජාන් තේට් ස්වාමීන් වහන්සේ සිය ජීවිතය බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිරත්නයට පූජා කොට, නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණින් පුහුණුවේ යෙදී සිටින සිය අනුගාමිකයින් හට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ මහත්වූ කරුණාවකින්ය. මෙම චරිතාපදානය පරිහරණය කරන පාඨක භවතුන් හට, එය උද්යෝගය උතුරණ උල්පතක් වේවා! එමෙන්ම බුදු මගෙහි ඵල වශයෙන් ගැඹුරු සාමය, ප්‍රීතිය සහ ප්‍රඥාව අත්විඳීමට හැකි වේවායි ඉතසිතින් පතමු!
අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ පෙරවදන
බොහෝ විට, කෙනෙකුගේ මරණින් පසු රචනා කෙරෙන චරිතාපදාන වෙනත් අය අතින් ලියවෙන නිසා ඔවුන්ගේ ඒ රචනා ශෛලීය, ආදාහනයකදී හෝ භූමිදානයකදී අවසාන කටයුතු සිදුකරන අවස්ථාවේදී එම තැනැත්තාගේ ගුණ වර්ණනාව ඉදිරිපත් කරන ආකාර, හැඟීම් දනවන ලේඛන රටාවකට හුරුවීමේ නැඹුරුතාවයක් ඇත. ජීවත්ව සිටියදි එම තැනැත්තා අතින් සිදුවූ අයහපත් දේ පිළිබඳ දැනුවත් කමක් තිබූවත්, කිවයුතු නොකිවයුතු දෑ නිගමනය වන්නේ සමාජ සිරිත් විරිත් සහ විනීතකමට දක්වන ගෞරවය මතය. අපේ හැදියාව පෙන්නුම් කෙරෙන ආකාර හතරක් ඇත:
- යම් පුද්ගලයෙක් බොහෝ අයුරින් අයහපත් තැනැත්තෙකු විය හැකිය. ඔහු හෝ ඇය ගැන විමසූ විට නිහඬව සිටීම හෝ කෙටියෙන් පිළිතුරු දීම කළ යුතුය.
- යම් පුද්ගලයෙක් සුළු මට්ටමින් හෝ යහපත් තැනැත්තෙකු විය හැකිය. ඔහු හෝ ඇය ගැන විමසූ විට ඒ සියල්ලම විස්තරාත්මකව පැවසිය යුතුය.
- තමන්ගේ අයහපත් ගුණ ඉතාමත් අල්පය. ඒ ගැන විමසූ විට ඒ සියල්ලම නොවළහා හෙළිදරව් කළ යුතුය.
- තමන්ගේ යහපත් ගුණ බොහෝය. ඒ ගැන නොවිමසන්නේ නම් නිහඬව සිටිය යුතුය. ඒ ගැන විමසූ විට කෙටියෙන් පිළිතුරු දිය යුතුය.
මම සත්‍යයට සෘජුවම නැඹුරු වූවෙක්මි. එහෙයින් මා මිය ගිය පසු ඉහත විස්තර කළ අන්දමේ චරිතාපදානයක් වෙන අයෙකු අතින් ලියවෙනවා දැකීමට මා අකමැත්තෙමි. මා ගැන මා හොඳින්ම දන්නා නිසා එම කාර්යය ඉටු විය යුත්තේ මා අතින්මය. මා මිය ගිය පසු ඔවුන්ට කැමති ආකාරයකින් මා ගැන ලිවීමට අවසර ඇත. ඔවුන්ට ඇත්තේ මා ගැන අකමැත්තක් නම්, එම අසංතෘෂ්ටිය මගින් ඔවුන් පෙළඹෙන්නේ මා අතින් සිදුවූ සුළු වරදක් පවා, සත්‍ය වසන් කොට, උලුප්පා දැක්වීමටය. අනික් අතින් ඔවුන් මට කැමැත්තක් දක්වන්නේ නම් මගේ හොඳ ගුණ, සීමාව ඉක්මවා අතිශෝක්තියෙන් වර්ණනා කිරීමට ඔවුන් පෙළඹෙනු ඇත.
ඇත්ත පවසනවා නම් මෙම චරිතාපදානය ලිවීම මා ඇරඹූයේ, මා හැඳ සිටින කසාවතට උපහාරයක් දැක්වීමේ අභියසින්ය. එක් අතකින් චරිතාපදානයකින් කෙරෙන්නේ තමන්ම හුවා දක්වා ගැනීමක් නිසා, එම අදහස මා තුළ ඇති කළ ලජ්ජාව හේතු කොට ගෙන මෙය මුද්‍රණය කිරීමට කිසිම අදහසක් එවකට මා තුළ නොවීය. මා වෙනුවෙන් එය මුද්‍රණය කිරීමට දායකයින් ඉදිරිපත් වූවිට පවා මා තුළ කැමැත්තක් ඉස්මතු නොවීය.
වසර 1974 අප්‍රේල් 26 වෙනිදාට යෙදුනු මගේ හැත්තෑ දෙවෙනි ජන්මදිනය සැමරීමට දායකයින් කටයුතු පිළියෙල කරන විට මගේ චරිතාපදානය මුද්‍රණය කොට එදින බෙදා හැරීමට ඔවුන් අවසර පැතූහ. එය මා අතින් දැන් ඉටු නොවුවහොත් කෙසේ හෝ මගේ මරණින් පසු එය ලියවෙන බව මට එවිට අවබෝධ විය. එම නිසා මා අතින් නිමවෙමින් තිබූ එම චරිතාපදානය හැකි ඉක්මණින් අවසාන කොට ජන්මෝත්සවයේදී බෙදා හැරීමට මම කටයුතු සම්පාදනය කර දුනිමි. සමහර විට, මා මෙහි ඇතුළත් කළ සමහරක් කරුණු මා ගැන ස්වයං වර්ණනාවක් ලෙසින් ඔබට හැඟී යාමෙන් මෙය කියවීමේදී ඔබ ලබන තෘප්තියට හානියක් වේ නම්, මා ඒ ගැන පාඨක භවතුන්ගෙන් සමාව අයැද සිටිමි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවූ දේවල් කෙනෙක් නොපවසා නම් මෙහි ඇතුළත් කිරීමට ඇත්තේ කුමක්ද?
අජාන් ටේට්
( ප්‍රා දේසරංසි )
වට් හින් මාක් පෙන්ග් ආරණ්‍යය
31 මාර්තු 1974
………. මගේ චරිතාපදානය මෑතක් දක්වාම දීර්ග කිරීමට කටයුතු කිරීමේදී එහි අරටුවට හෝ අන්තර්ගතයට හානියක් මා අතින් සිදු නොවූ බව කරුණාවෙන් සලකන්න.
අජාන් ටේට්
( ප්‍රා රාජනිරෝධරංසි )
26 අප්‍රේල් 1991
………. අවසාන පිට ……….
අනාත්මයේ අර්ථය
භෞතික හෝ මානසික හෝ වේවා හේතුප්‍රත්‍යන් මත සම්පාදනය කෙරෙන හෝ සැකසෙන ඕනෑම දෙයක් සංඛාර යනුවෙන් හැඳින්වේ. මේ සංඛාර මොහොතක් මොහොතක් පාසාම හැමවිටම සෙලවෙන, වෙනස්වන නිසා චංචලය, අස්ථිරය; එම නිසා අනිත්‍යය. ඒකීයතාවයකින් යුතුව, කාලයක් තුළ පැවැත්මක් ගෙන යාමට මේ කිසිම සංඛාරයකට හැකියාවක් නැත. භෞතික හෝ මානසික හෝ වේවා සෑම දෙයකටම ස්වභාවයෙන්ම ඇත්තේ මේ ගතිලක්ෂණ නම්; ඒවා අනාත්මය නැතහොත් මමය, මාගේය යනුවෙන් කිව හැකි අයිතිකරුවෙක් නැත. ඒකීයත්වයකින් යුතු එකම දෙය ලෙස හැඳින්විය හැකි, හේතුප්‍රත්‍යන් මත සැකසීමෙන් නිදහස්වූ ගතිලක්ෂණයක් හෝ සංසිද්ධියක්වූ, අමරණීයත්වය (නොමැරෙන ස්වභාවය) පවා අනාත්ම වන්නේ එය සෑම දෙයකටම පිටස්තරව, සෑම දෙයක්ම අභිබවා පවතින හෙයින්ය. එය ඔහුගේ හෝ ඇයගේ ඕනෑඑපාකම් අනුව හසුරුවා ගැනීමට හෝ යටතට ගැනීමට තබා එසේ සිතීමටවත් ඔවුනට කළ නොහැකි දෙයක්ය. මාර්ගයේ සඳහන් අංග යටතේ සංවරය ඇති කරගත්, උතුම් නිවැරදි දැකීමකින් යුතු පුද්ගලයෝ පමණක් මෙම ස්වභාවික ගතිලක්ෂණය දැකීම වෙත පිවිසීමට හා සෑම දෙයක් වෙත ඇලීම; මේ දේවල් දන්නා බව හඟවන ඇතුළත නියෝජිතයාද ඇතුළුව, අත්හැර දැමීමට හැකියාවක් ඇති කර ගන්නෝය. අවසානයේදී යමක් අත්කර ගන්නා හෝ යමක් සාක්ෂාත් කර ගන්නා නියෝජිතයෙක්ද නැත. ස්වභාවික සංසිද්ධීන්ගේ චර්යාව කෙසේ වේද, එයාකාරයෙන්ම ඒවා ක්‍රියාත්මක වන ආකාරය හැමවිටම එලෙසින්ම සරලව පවතිනු ඇත.
නිසියාකාරව පුහුණුවෙහි යෙදෙන භාවනායෝගීන් අමරණීයත්වයේ මෙම ගතිලක්ෂණය ඇති හැටියෙන් දැකීමේ විචක්ෂණ බුද්ධිය ලබාගත් විට එහි ප්‍රතිඵලය වන්නේ සෑම දෙයකටම ඇති ඇලීම අත්හැර දැමීමට හැකියාව ඇති කර ගැනීමය. මෙම ගතිලක්ෂණයේ සත්‍ය ස්වරූපය ඇති හැටියෙන් දැක ගැනීමට උපකාරවූ එම අවබෝධයට පවා ඇලීමක් නොමැතිව සිටීමට ඔවුන්ට හැකිවන්නේය.
මෙතැනට ළඟාවීමට ඇති මග; සෑම සියළු යහපත් හා උතුම් දේ කිරීමට පුහුණුවීමය.
(වනගත භික්ෂුවකගේ ජීවිත කථාව – අජාන් තේට් ස්වාමීන් වහන්සේ; මෙම ප්‍රකාශනයෙහි මුද්‍රණය මතු බලාපොරොත්තු වන්න.)