පටිච්ච සමුප්පාදය

අජාන් බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර හදාරද්දී නැවත නැවතත් ඔබට හමුවන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ඉගැන්වීම්ය. ධර්මය පැහැදිලි කරදීමේදී උන්වහන්සේ මෙම ඉගැන්වීම් බෙහෙවින් භාවිතයට යොදාගත් බව එමඟින් ඔබට පැහැදිලි වන්නේය. එසේ වූවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ඉගැන්වීම් අවබෝධ කරගැනීම තරමක් අපහසුය. එහෙයින් මා මෙහිදී උත්සාහගන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් තේරුම් ගැනීමට පහසු වන අයුරින් විස්තර කරදීමටය. සමස්ථයක් වශයෙන් පටිච්ච සමුප්පාදය යනු කුමක්දැයි ඔබට අවබෝධ කරදීම සඳහා එහි අංග දොළහ කෙටියෙන් විස්තර කරදීමට මම මුලදීම අදහස් කරමි. (ඒවා නම් අවිද්‍යා, සංඛාර, විඤ්ඤාන, නාමරූප, සළායතන, ඵස්ස, ‍වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති හා දුක්ඛ යයි) ඉන්පසු එහි අංග කිහිපයක් තෝරාගෙන ඒවා පමණක් දීර්ඝ වශයෙන් පැහැදිලි කරදී බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ඉගැන්වීම් සමඟ පටිච්ච සමුප්පාදය ඈදා ගන්නා ආකාරයද පැහැදිලි කර දෙන්නෙමි. පටිච්ච සමුප්පාදය ධර්මයෙහි ගැබ්වී ඇත්තේ කෙසේදැයි මෙසේ අවබෝධ කරගත් විට, ආර්ය අශ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමේදී එය එහි කොටසක් ලෙස භාවිතයට ගන්නා ආකාරය වටහා ගැනීමට ඔබට පහසු වන්නේය. මෙම සාකච්‍ඡාව සඳහා යොදාගත් සැකිල්ල පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට පහසුවන අයුරින් එහි අංග දොළහ පිළිබඳ කෙටි විස්තරයකින් මම මෙය ආරම්භ කරමි.

පළමුවෙනි අංගය හඳුන්වන්නේ අවිද්‍යාව යනුවෙන්ය. යථාර්ථය අවබෝධ කර ගැනීමට නොහැකිකම අවිද්‍යාවය. හරියාකාරව දේවල් දැකීමට ඇති අපහසුතාවය නිසා අපේ අවබෝධය විකෘති වන්නේය. මනුෂ්‍යයෙකු හෝ වෙනත් සත්වයෙකු හෝ වේවා, ඔහු තුළ මෙම අවිද්‍යාව මුල්බැසගත් විට ඔහු කියන, කරන, සිතන දේවල් මඟින් කර්ම (සංකාර) රැස්කිරීම ඇරඹෙන්නේය. සංකාර පටිච්ච සමුප්පාදයේ දෙවෙනි අංගයයි. අපේ ක්‍රියාකාරකම් මඟින් කර්ම රැස්වන නිසා ඒවායෙහි ප්‍රතිඵල ඉදිරියේදී අපට විඳීමට සිදුවේ. ඒ ඒ කර්මයන්ට අනුව ඒවායෙහි ප්‍රතිඵල සතුටුදායක හෝ අසතුයුදායක විය හැකිය. තවත් තැනෙක උපතක් ඇති කිරීමට ඇති බලවේගය කර්මයෙහි ඉතා බලගතුම ආදිනවය වශයෙන් හඳුන්වාදිය හැකිය. ඒ, එම උපතෙහි ආරම්භක විඤ්ඤානය පහළ වීමය. එහෙයින් මෙසේ පහළවන විඤ්ඤානය පටිච්ච සමුප්පාදයෙහි දෙවෙනි අංගය වේ. ශරීරයක් පමණක් නොව වේදනා, සංඥා, චේතනා යන මානසිකාංගයන්ද විඤ්ඤානය සමඟම හටගනී. ශරීරය සහ මෙම මානසිකාංගයන්ගේ එකතුව පටිච්ච සමුප්පාදයෙහි හතරවෙනි අංගය වූ නාමරූප වශයෙන් හඳුන්වනු ලැබේ. මනසක් සහ ශරීරයක් පහළවූ තැන පස්වෙනි අංගය වූ සළායතනයද හට ගනී. ජීවත්වන සත්වයෙකු ලෙස හඳුන්වන දෙයෙහි ඒකරාශීව ඇත්තේ ඇස, කණ, දිව,නාසය, ශරීරය, මනස ආදී ඉන්ද්‍රියන් ආශිත මෙම ආයතනයන් හයය. මෙම ආයතනයන් හය ඇති වූ කළ ලෝකය අත්විඳීම ආරම්භ කෙරේ. ලෝකය සමඟ ගැටෙන්නේ මෙම ආයතනයන් හයය. ඵස්ස නමින් හඳුන්වන මෙම ගැටීම පටිච්ච සමුප්පාදයේ හයවෙනි අංගයයි. මෙම අත්විඳීම් වල මූලික මෙන්ම වැදගත්ම කොටස වන්නේ වේදනාවය. වේදනාව හත්වෙනි අංගයයි. දුක් සහගත හෝ ප්‍රීති සහගත විය හැකි මෙම වේදනා අස්ථිරය. එසේ වූවත් වේදනා හේතු කොට දැනෙන දුක සහ ප්‍රීතිය නිසා ආසාවන් හට ගනී. ප්‍රීති සහගත වේදනාවන්ට ලංවීමට සහ දුක් සහගත වේදනාවන්ගෙන් දුරස්තර වීමට කැමැත්තක් මතු වේ. මෙලෙස, වේදනාවෙහි ඇති දුක් සහගත හා ප්‍රීති සහගත ස්වභාවය නිසා හටගන්නා ආසාව හෙවත් තණ්හාව අටවෙනි අංගයයි. මෙම ආසාව හෝ ඇලීම නිසා අල්ලා ගැනීම, ග්‍රහණය කරගැනීම සිදු වේ. එම ආසාවන් මුදුන්පත් කරගැනීම සඳහා අපි නොයෙකුත් උපක්‍රම යොදා ගන්නෙමු. අල්ලා ගැනීම, ග්‍රහණය කරගැනීම හෙවත් උපාදානය නවවෙනි අංගයයි. දේවල් ග්‍රහණය කරගැනීම ඇරඹුනු විට, ආසාවන් මුදුන්පත් කරගැනීමේ අටියෙන් අප උපක්‍රමශීලී කටයුතුවල නිරතවන නිසා එමඟින් අපේ ජීවිත එක්තරා රටාවකට අනුව හැඩගැසීම ඇරඹෙන්නේය.මෙසේ ජීවිතය ගෙනයන විට එම ජීවන රටාවට අනුකූලව නොයෙකුත් කර්ම රැස් කෙරෙන්නේය. දහවෙනි අංගයවූ මෙම පැවැත්ම හඳුන්වන්නේ භව නමින්ය. පැවැත්මට අනුකූලව රැස් කෙරෙන කර්ම එකොළොස්වෙනි අංගය වූ ජාති හෙවත් නැවත උපතට හේතු වන්නේය. නැවත උපත නිසා අන් සෑම සත්වයෙකුට මෙන්ම අපටද මහළු වයස, මරණය ඇතුළු පැවැත්ම නිසා හටගන්නා අනෙකුත් දුක් කම්කටොලු සියල්ලක්ම අත් විඳීමට සිදුවන්නේය. මහළු වයස (ජරා), මරණය (මරණ), දුක (සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස) ආදී වශයෙන් අර්ථ දැක්වෙන සෑම දුකක්ම පටිච්ච සමුප්පාදයේ අවසාන, දොළොස්වෙනි අංගයවූ දුක්ඛයට ඇතුළත් වේ.

පටිච්ච සමුප්පාදයෙහි සඳහන් මේ සෑම අංගයකම හටගැනීමට සහ ඒවායෙහි පැවැත්මට මූලික වන්නේ ඊට ඉහතින් අංග වීම මෙම අංග දොළහ දක්වා ඇති අනුපිළිවෙලෙහි ඇති විශේෂ වැදගත්කමය. හේතු ප්‍රත්‍යයන් මත ගොඩනැගුනු මෙම අනුපිළිවෙලෙහි පටිච්ච සමුප්පාදයේ හරය ගැබ්වී ඇත. උදාහරණ වශයෙන් අවසාන අංග දෙක සළකා බැලූ විට දුක්‍ඛය නමින් හැඳින්වූ මහළු වයස, මරණය සහ දුක අත්විඳීම සඳහා උපතක් තිබිය යුතුය. දුක්ඛය අත්විඳීම සඳහා උපත අත්‍යවශ්‍ය හේතුවක් වන්නේ උපතක් නැති කල දුකක් නොදැනෙන හෙයින්ය. ඒ ආකාරයටම අවිද්‍යාවෙන් පටන්ගෙන දුකින් කෙළවරවන එකිනෙකට සම්බන්ධවූ මේ සෑම අංගයකම හටගැනීම සඳහා ඊට ඉහතින් ඇති අංගයෙහි පැවැත්ම අවශ්‍ය වේ. පටිච්ච සමුප්පාදයෙහි ඇති මෙම තීරණාත්මක විශේෂ ලක්ෂණය මැනෙවින් හැදෑරීමෙන් මෙම මුළු ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ඔබ ලබා ගන්නේය.

අනුපිළිවෙලෙහි මුල් සහ අවසාන අංග දෙක, මීළඟට විග්‍රහකර බැලීම අපට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. අවසාන අංගය ඉතා වැදගත් වන්නේ පටිච්ච සමුප්පාදය අපේ පැවැත්මට සම්බන්ධකර ගන්නේ කෙසේදැයි එය පෙන්වා දෙන හෙයින්ය. පටිච්ච සමුප්පාදයෙහි සෑම අංගයක්ම එහි අවසාන අංගයවූ දුක්ඛය හටගැන්වීම සඳහා හේතුභූත වන සාධකයන්ය. ඒ සෑම අංගයකින්ම පෙන්නුම් කෙරෙන්නේ දුක්ඛය වෙත දිවෙන මාර්ගයය. දුකට හේතුව, දුක හටගන්නේ කෙසේද, දුකෙහි පැවැත්මට හේතුවන්නේ මොනවාදැයි මෙම ඉගැන්වීම් මගින් පෙන්වා දෙනු ලැබේ. මෙය ප්‍රායෝගික වශයෙන් වැදගත් වන්නේ දුක හටගැනීමට හේතුව ප්‍රකටවූ විට ඒ පිළිබඳව යම් පියවරක් ගැනීමටඅපට හැකිවන හෙයින්ය. අප අභියස ඇති ප්‍රශ්නය තේරුම් ගැනීමෙන් දුක තුනීකර ගැනීමටත්, අවසානයේදී දුක අභිබවා සිටීමටත්, එයින් අපට අවස්ථාව සැලසෙන්නේය. මෙම ඉගැන්වීම් හදවතට සිසිලක් දනවන්නේ ජීවිතයේ අප මුහුණ දෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ඉන් සැලසෙන සෙත නිසාය. එය එසේ නම් දුකට ආසන්නම හේතුව කවරේද? ඒ උපතය, පැහැදිලිවම පවසනවා නම් නැවත උපතය. උපතක් නැති කල ඔබේ පැවැත්මක්ද නැත. නැති පැවැත්මක ඇති දුක කුමක්ද?

පටිච්ච සමුප්පාදයෙහි අවසාන අංග යුගල‍යවූ උපත හා දුක්ඛය නැතහොත් නැවත උපත හා මහළු වයස, මරණය වැදගත් කරුණක් හෙළිදරව් කර සිටී. පටිච්ච සමුප්පාදයට අනුකූලව කෙළවරක් නොමැතිව සිදුවන මේ උපත හා මරණය අනෙකක් නොව සංසාරයයි. සංසාරය යනු නිමක් නොමැතිව, නිරන්තරයෙන්ම, වටයෙන් වටයට, එක් ජීවිතයකින් තවත් ජීවිතයකට නැවත නැවතත් උපත ලබා මරණයට පත්වීමය. එහෙයින් පටිච්ච සමුප්පාදයේ අවසාන අංග දෙක ඇත්තවශයෙන්ම සමාන වන්නේ සංසාරයටය. මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාදය දෙස බැලීමෙන් ලෝකයෙහි සංසාරය හට ගන්නේ කෙසේද, සංසාරය කියා දෙයක් පවතින්නේ කෙසේදැයි පැහැදිලි වන්නේය. සංසාරය යනු අපෙන් බාහිරව, විශ්වයේ යම් තැනක පවතින දෙයක් ලෙස කිසි විටෙක නොසිතන්න. එය මනුෂ්‍යයින් ලෙස අප ලෝකය අත්විඳින අකාරයයි, අපේ අභ්‍යන්තර දෘෂ්ටයයි, අප මනසින් සිතා බලන ආකාරයයි. එය පෞද්ගලික අත්විඳීමක් නිසා ‍ඔබේත් මගේත් සංසාරය එකිනෙකට වෙනස්ය. එය එහි ස්වභාවික ගති ලක්‍ෂණයක්ය. නමුත් එහි පොදු පදනම වශයෙන් ඇත්තේ උරුමයක් ලෙස අත්විඳීමට සිදුවන අති මහත් දුක්ඛ සම්භාරය හා ආරම්භයක් හෝ අවසානයක් දැකිය නොහැකි පරිද්දෙන් සිදුවන උපත් හා මරණවලට හිමිකරුවෙකු වීමය. අවසාන වශයෙන් එයින් පෙන්නුම් කෙරෙන්නේ දුක්ඛය හා සංසාරය ඇති සමානාත්මතාවයය. පටිච්ච සමුප්පාදය සංසාරයේ පැවැත්ම සහ දුක හටගන්නා ආකාරය මැනවින් පෙන්නුම් කර සිටී. මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත් විට අපට ඒ ගැන යමක් කළ හැකිය. පටිච්ච සමුප්පාදයේ අවසාන අංග දෙක මුළුමණින්ම පෙන්නුම් කර සිටින්නේ මෙම ඉගැන්වීම් යොමු කෙරෙන්නේ කොතැනකටද, එමගින් බලාපොරොත්තු විය හැකි වන්නේ කුමක්ද යන්නය. දුක පිළිබඳව ඇති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අප කුමක් කළ යුතුදැයි හරියාකාරව අවබෝධ කර ගැනීමට අවිද්‍යාව යනුවෙන් හඳුන්වන පටිච්ච සමුප්පාදයේ මුල් අංගය වෙතට යා යුතුය.මෙම මුල් අංගය හරියාකාරව තේරුම් ගැනීමෙන් පටිච්ච සමුප්පාදය බලපැවැත්වෙන ආකාරයත්, එය මෙහෙයවෙන ආකාරයත් පැහැදිලි වන්නේය. පටිච්ච සමුප්පාදයේ සෑම අංගයක්ම ඊට පූර්ව අංගය මත රඳා පවතින බැවින් මෙම මුල් අංගය ඉවත් කළ හැකි නම් සෙසු අංගයන් එකින්එක ගිලිහී ගෙන යන ආකාරය අපට සිතාගත හැකිය. අවිද්‍යාව ඉවත්වූ කළ අනුපිළිවෙලින් පවතින ඉතිරි සෑම අංගයක්ම ඉවත්වී යන්නේ අවසාන වශයෙන් ඇති, දුක්ඛය නැතහොත් සංසාරයද සමඟින්ය. මුළුමණින්ම අවිද්‍යාව ඉවත් කර ගැනීමට අපොහොසත් වූවත් අපට එය දුබල කරගත හැකි නම්, එමගින් දුක්ඛය අඩපණ වන්නේ, එසේ ඇති කරගත් අවිද්‍යාවෙහි දුබල බව පටිච්ච සමුප්පාදය නමැති දම්වැලෙහි අවසාන පුරුක දක්වාම විහිදී යන හෙයින්ය. එහෙයින් පටිච්ච සමුප්පාදයෙහි අන්තර්ගතව ඇති මෙම හේතුප්‍රත්‍ය මූලධර්මය අපේම යහපත සඳහා යොදාගත හැකිය. එම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් අප කළ යුතුව ඇත්තේ අවිද්‍යාව යනු කුමක්දැයි හොඳින් තේරුම්ගෙන, එය අඩුකර ගැනීමට යත්න දැරීම, අපේ පුහුණුවේ ආරම්භක අරමුණ කර ගැනීමය. අවිද්‍යාවෙන් අදහස් කරන්නේ මුලා වීමය. අවිද්‍යාව යන වචනයේ මතුපිටින් හැඟවෙන, දැනුමෙහි අඩුවක්, එයින් අදහස් නොකෙරේ. යම්යම් දේවල් සිදුවන ආකාරය යථා ස්වරූපයෙන් නොදැකීම එහි අර්ථයයි. ඒවා විකෘතිව දැකීමට හේතුව අන්කිසිවක් නොව පැවැත්මෙහි ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය නොදැකීමය. නැතහොත්, අස්ථිර දේවල ස්ථිර පැවැත්මක් ඇතැයි සැලකීම (අනිත්‍ය), දුකට මුල්වන දේවල් සැපයක් ලෙස සැලකීම (දුක්ඛ), හා ආත්මයක් නැති දේ ආත්මයක් ඇති දේ ලෙස සැලකීමය (අනාත්ම). අපේ ජීවිත හැඩගැසී ඇත්තේ, මූලිකවම මෙම විකෘතිව දැකීම පදනම කර ගෙනය. පටිච්ච සමුප්පාදයෙහි අංගයන් මේ ආකාරයෙන් අප ඉදිරියේ පෙළ ගැසෙන්නේ අවිද්‍යාව හරියාකාරව අවබෝධ කර නොගැනීම නිසාය. මුල්ම අංගය ලෙස අවිද්‍යාව හඳුන්වාදී ඇතත්, එය කිසිම බලපෑමකටම යටත් නොවන ස්වයං පැවැත්මක් ඇති දෙයක් ලෙස නොසැලකිය යුතුය. අවිද්‍යාවද අන් දේ මත රඳා පැවතීම අපේ යහපත සඳහා වේ. එයද හේතුප්‍රත්‍යයන්ට යටත් වන නිසා එය අවබෝධ කර ගැනීමටත්, එය දුර්වල කර ගැනීමටත් අපට අවස්ථාව සැලසී ඇත. එහි පැවතීමට හේතුභූත වන දෑ කිනම්දැයි තේරුම් ගැනීමෙන් එය දුබල කර ගැනීමටත්, අවසානයේදී එය සහමුලින්ම අත්හැර දැමීමටත් හැකි වන පුහුණුවක අපට යෙදිය හැකිය. හොඳයි, එසේ නම් අවිද්‍යාව රඳා පවතින්නේ කිනම් දේවල් මතද? එහි පැවැත්ම සහතික කර සිටින්නේ කැමැත්ත, නොරිස්සීම, අලසකම හා නිදිමත, නොසන්සුන්කම හා පසුතැවීම, සැකය යන පංච නීවරණයන්ය. මෙම නීවරණ කොතෙක් දුරට මනසෙහි කාවැදී ඇත්ද, එපමණට අපි අවිද්‍යාවෙහි බලපෑමට ගොදුරු වී ඇත්තෙමු. මෙය සිදුවන්නේ කෙසේද? පංච නීවරණ මඟින් අපේ දැකීම විකෘති කිරීම ඊට හේතුවය. මෙය තේරුම් ගැනීම පහසුය. ඔබ කෝපයට පත්වූ විට සිදුවන්නේ කුමක්ද? එවිට, සාමාන්‍ය වශයෙන් ඔබ අතින් සිදු නොවන දේවල් සිදුවීමට නැඹුරුවක් ඇති වන්නේය. තරහ හේතු කොට ගෙන සැර පරුෂවීමට, නොහොබිනා දේවල් පැවසීමට පෙළබීමක් ඔබ තුළ ඇතිවේ. ඇයි හොඳයි කම් අමතක කර දමා තදින් බැණවැදීමට, දරදඬු අන්දමින් ඔවුන් වෙත කඩාපැනීමට, තරහ ගිය විට ඔබට සිත් දෙන්නේ ඔවුන්ට එවැනි ප්‍රතිචාර දැක්වීමෙහි වරදක් නැතැයි ඔබට හැ‍‍ඟෙන නිසාය. කෝපය සංසි‍ඳෙන්නේ බොහෝ විට අප අතින් නොමනා දේ සිදුවීමෙන් අනතුරුවය. නමුත් අවසානයේදී ඔබට සිතෙන්නේ ඇත්තෙන්ම ඔබ අතින් වරදක් සිදුවූ බවය. එවිට, ඒ ආකාරයෙන් අකරුණාවන්තවීම, ඔවුන්ගේ හැසිරීම් වරදවා තේරුම් ගැනීම සිදු නොවූවා නම් හොඳයයි ඔබට සිතේ. අවුලට මග පෑදූ ඔවුන්ගේ චේතනා හරියාකාරව තේරුම් ගැනීමට නොහැකි වීමෙන් වරදක් සිදුවූයේ යයි ඔබට හැ‍ඟේ. ‍පසුතැවීම සහ කණස්සල්ල ඔබට ඇතිවන්නේ එතැනදීය. සාමාන්‍ය වශයෙන් අප අතින් සිදු නොවන දේවල් තරහ ගිය විට සිදුවන්නේ තරහ මගින් වතාවරණය විකෘති කොට පෙන්වා දෙන නිසාය. තරහ සහ අවිද්‍යාව එකිනෙක හා සම්බන්ධ වීමෙන්ලෝකය අප හඳුනාගන්නා ආකාරය විකෘතිවන අන්දම ඔබට එයින් පැහැදිලිය. ආසාවටද ඇත්තේ සත්‍ය විකෘති කොට දැක්වීමට එවැනිම හැකියාවක්ය. ඇතැම් පුද්ගලයින් තම විවාහ ජීවිතයේදී අනියම් සම්බන්ධතා පවත්වන්නේ මන්ද? ඒ බොහෝ විට ආසාව මගින් මනසෙහි ශක්තිය දුබල කරන නිසාය. කරන්නේ කුමක්දැයි හරියාකාරව තේරුම් නොගැනීම නිසා යෙදෙන එම දේවල් මඟින් ඔබ බොහෝ විට, අවසානයේදී බලවත්සේ පසු තැවෙනු ඇත. කෙදිනක හෝ එමගින් තම නීත්‍යානුකූල සහකාරියට හෝ සහකරුවාට ඇති කරන ලද බලවත් සිත් වේදනා ඔබට වැටහෙනු ඇත. බොහෝ විට විවාහය බිඳවැටී, සිය දරුවන්ගේ ඇසුර පවා ඔබට අහිමිවී, ඒ අය වෙනුවෙන් වන්දි ගෙවීමටද ඔබට සිදු වන්නේය. නමුත්, බොහෝ විට ඔබට සිතෙන්නේ අනියම් සම්බන්ධතාවයන් පවතිවා ගෙන යාමෙහි වරදක් නැති බවය. ආසාව නිසා ඔබ දේවල් වටහා ගන්නා ආකාරය විකෘති වේ. සාමාන්‍යයෙන්, සාප්පුවකට ගොඩවූ අවස්ථාවලදීද මෙවැනිම දෙයක් සිදුවන බව ඔබ දකින්නට ඇත. සාප්පුවකදී ආකර්ෂණීය දෙයක් දුටු විට හටගන්නා බලවත් ආසාව, ඔබ පොළඹවන්නේ එය මිළදී ගැනීමටය. එම ආසාවේ ග්‍රහණයෙන් මිඳුනු විට, එය එතරම් අත්‍යවශ්‍ය දෙයක් නොවන බව හැඟීයාමෙන් තමා ගත් තීරණය එතරම් සතුටුදායක නොවන බව ඔබ තේරුම් ගන්නේ පසුවදීය. මෙම නීවරණයන්ගේ බලපෑම, විශේෂයෙන්ම තරහ සහ ආසාව නිසා ලෝකය අප දකින්නේ විකෘතිවූ ස්වභාවයකින්ය. නීවරණයන්ගේ බලවත් කමේ පමණට අවිද්‍යාව බලවත් වන නිසා, එයට තථ්‍යතාවය විකෘති කොට දැක්වීමට ඇති හැකියාවද බලවත් වන්නේය. නීවරණයන්ගේ බලය අඩුවූ විට විකෘතිය අඩුවන නිසා ලෝකය පිළිබඳව අපට ඇති වන්නේ පැහැදිලි දැකීමක්ය. මෙම බලපෑම අවිද්‍යාවේ සිට දුක්ඛය දක්වාම විහිදී යන්නේය. එම නිසා නීවරණ දුර්වල නම් දැනෙන දුක අඩු‍ය, නීවරණ බලගතු නම් දැනෙන දුක වැඩිය. හේතුප්‍රත්‍ය මූලධර්මය යටතේ නීවරණයන්ගේ බලපෑම පටිච්ච සමුප්පාදයේ මුල සිට අගට දක්වාම විහිදී යන්නේය. එම නිසා ජීවිතයේ දුකත් අවිද්‍යාවත් හීන කර ගැනීමට නම් සිත කිළිටි කරන ක්ලේශයන්, විශේෂයෙන්ම, නීවරණ ධර්මයන් දුබල කර ගත යුතු බව ඉන් අපට පෙන්වා දේ.

අපේ මනසෙහි ඇති කෙලෙස් අඩු කර ගන්නේ කෙසේද? එයට ආර්ය අශ්ඨාංගික මාර්ගය හැර අන් මගක් නැත. (ආර්ය අශ්ඨාංගික මාර්ගය විස්තර කිරීමක් මම මෙහි ඇතුළත් නොකරමි.) මෙමගෙහි ගමන අරඹන්නේ සීලය පුහුණු කිරීමෙන්ය. යම්යම් දේවල් කිරීමෙන් වැලකී සිටීම මෙම පුහුණුවට ඇතුළත්ය. සිතට එකඟව ඒවා තවදුරටත් නොකළ හැකි බැවින් ඔබේ සංවරය සුරැකෙන්නේය, පංච නීවරණයන් දමනය වන්නේය. කාලයාගේ ඇවෑමෙන්, එවන් සංවරයක් මගින් සිදු වන්නේ ක්ලේශයන්ගේ බලය හීන වීමය. පංචසීලය ආරක්ෂා කර ගැනීම කල්යාමේදී පහසුවනවා දැකීම මෙයට ‍හොඳ උදාහරණයක්ය. භාවනා කිරීම, මෛත්‍රීය වැඩීම, සංසුන්වීම, සිහිකල්පනාව බලවත් කර ගැනීම ආදී උසස් පිවිතුරු මානසික තත්වයන් මනසෙහි ඇති කර ගැනීමෙන් සිදුවන්නේද, පංච නීවරණයන්ගේ අවසානය දැකීම සඳහා මෙමග ඔස්සේ ඉදිරියට ඇදීයාම, වේගවත් කර ගැනීමය. එහෙයින් ආර්ය අශ්ඨාංගික මාර්ගය අනෙකක් නොව පංච නීවරණයන් ඉවත් කර ගැනීම සඳහා සැකසුණු විධිමත් ක්‍රියාදාමයක්ය. එමගින් සිදුවන්නේ අවිද්‍යාව දුර්වල වීමය; එය දුක තුනී වීමට හේතුවක්ය. පටිච්ච සමුප්පාදය, ආර්ය අශ්ඨාංගික මාර්ගය හා සබැ‍ඳෙමින් එය ධර්මයෙහි වැදගත් කොටසක් වන ආකාරය ඔබට එමගින් අවබෝධ වන්නේය.

සෑම ඉගැන්වීමක්ම, ධර්මය නමැති ‘ජිග්සෝ’ ප්‍රහේලිකාවේ එක් කුඩා කැබලිත්තක් බව සිතට ගැනීම වැදගත්ය. ධර්මය නමැති ජිග්සෝවේ, සැඟවුනු පිංතූරය සෑදී ඇති මේ කුඩා කොටස් කැබලි, ඒ ඒ තැන්වලට ඇමිණෙන ආකාරය තේරුම්ගෙන, ඒවා සියල්ලක්ම නිසියාකාරව එක්නෙකට අමුණා ගැනීමෙන් සම්පූර්ණ පිංතූරය නිර්මාණය කර ගැනීමට හැකිවන්නේය. වෙනත් අයුරකින් පවසනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්; පංච බල, පංච නීවරණ, පංච ස්කඣ, ධ්‍යාන, සෘදිපාද ආදී වශයෙන් වෙන්වෙන්ව දක්නට ලැබුනත්, ඒවා එක්දෙයක සම්පූර්ණ එකතුවක්ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හොඳින් තේරුම් ගත්  තරමටම ධර්මය නමැති ජිග්සෝ ප්‍රහේලිකාවේ කොටස් එකිනෙකට ඈදෙන්නේ කෙසේදැයි පැහැදිලි වන්නේය. මෙහිදී මා කොටින්ම පෙන්නුම් කර දෙන ලද්දේ පටිච්ච සමුප්පාදය, ආර්ය අශ්ඨාංගික මාර්ගය හා ස‌‌‌‌බැ‍ඳෙන, එක්තරා ආකාරයක් පමණක්ය.

එහෙයින් ආර්ය අශ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමෙන් ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව තුනී වන්නා හා සේම දුකද තුනී වන්නේය.අපි මේ මාර්ගය පුහුණු කරන්නේ එමගින් දුක සම්පූර්ණ වශයෙන්ම ඉවත් කර ගැනීමටය. නීවරණ ධර්මයන් තුනී කර ගැනීම මගින් අවිද්‍යාවත්, දුකත් සහමුලින්ම අවසන් කර ගැනීමට හැකි වන්නේ කෙසේද? මෙම මාර්ගය පියවරෙන් පියවරට පුහුණු කර ගෙන යාමේදී ක්‍රමක්‍රමයෙන්‍ නීවරණ ධර්ම දුර්වලවී ඒවා සහමුලින්ම මනසින් ඉවත්වන දිනය එළඹෙන්නේය. එවිට මනස පවිත්‍රය, ප්‍රභාශ්වරය. ආර්ය අශ්ඨාංගික මාර්ගය නිසියාකාරව පුහුණු කරන්නන් හට බුදුරජාණන් වහන්සේ දුන් පොරොන්දුව එයයි. අවිද්‍යාව රඳා පවතින්නේ පංච නීවරණ මත හෙයින් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත්වූ විට අවිද්‍යාවට පිටදී සිටීමට දැන් කිසිවක් නැත. මෙම අවධියට ලංවන විට අවිද්‍යාව ඉතා දුබල නිසා එය සම්පූර්ණ වශයෙන් ඉවත් කර ගැනීම පහසුය. අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා දේවල් ඇති හැටියෙන් දැකීමට අවශ්‍ය, විදසුන් නුවණ ඇති කර ගැනීමට, පංච නීවරණයන්ගෙන් බැහැරවූ ගැඹුරු භාවනා අවධීන් බලගතු පදනමක් වන්නේ එහෙයින්ය. එමෙන්ම, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අවසාන අංගය, ගැඹුරු භාවනා අවධීන්වූ ධ්‍යාන හතර වශයෙන් අර්ථ දැක්වීමට හේතුවද එමගින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ධර්මය විනිවිද දැකීමට අවසානයේදී ඔබට හැකි වන්නේ එවැනි අවධීන්ට පැමිණි විට වීම ඊට හේතුවය.මෙතැනට ළඟා වනතෙක් එවැනි විදසුන් නුවණක් ලබා ගැනීමට නොහැකිය. එකිනෙක සමඟ අත්වැල් බැඳගෙන ඇති නිසා අවිද්‍යාව තුරන්වූ විට දුක්ඛයද තුරන්වී යන්නේය. අවිද්‍යාව මූලික ප්‍රශ්නය වන්නේ මන්ද, එමෙන්ම, එම මූලික ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේදැයි මෙයින් පැහැදිලි වේ.

අවිද්‍යාව, දුකට පෙරලෙන්නේ කෙසේදැයි මීළඟට අපි සළකා බලමු. මෙය සිදුවන ආකාරය පටිච්ච සමුප්පාදයෙහි අරටුව ලෙස හැදින්විය හැකිය. එමගින් සංසාරයෙහි ස්වයං පැවැත්මකට, දිගින් දිගටම උපතත් මරණයත් කෙළවරක් දැකිය නොහැකි අන්දමින් පැවතීගෙන යාමට, අවිද්‍යාව මූලික වන්නේ කෙසේදැයි පෙන්නුම් කර දෙන්නේය. පටිච්ච සමුප්පාදයේ දෙවෙනි භාගය විභාග කර බැලීම මේ සඳහා ප්‍රමාණවත්ය. වේදනාව, චිත්ත වේගයක් ලෙස බුදු දහම නොසලකයි. නමුත්, වැදගත් කොට සලකන්නේ එය දැනෙන ආකාරය ගැනය. එනම් එය ප්‍රීති සහගත වේදනාවක්ද, දුක් සහගත වේදනාවක්ද, නොඑසේ නම් මධ්‍යස්ථ වේදනාවක්ද යන්න පිළිබදවය. මනුෂ්‍ය පැවැත්මෙහි මෙන්ම වෙනත් ඕනෑම සත්ව පැවැත්මක සාරය, විඳින්නාවූ ප්‍රීති සහගත වේදනා සහ දුක් සහගත වේදනා වල එකතුවක් යයි පැවසීමෙහි වරදක් නැත. පටිච්ච සමුප්පාදයෙහි වේදනාවට පෙරටුව ඇති අංගයන් මඟින් පෙන්වා දෙන්නේ ශරීරය සහ මනස හේතු කොට ගෙන වේදනාව හටගන්නා ආකාරයය. එනම් ශරීරයක් සහ මනසක් ඇති විට එතැන නිතැතින්ම වේදනාව හට ගනී. ලෝකය පිළිබඳ හැඟීමක් අපට පහළ වන්නේ, විඳින්නාවූ ප්‍රීති සහගත වේදනා සහ දුක් සහගත වේදනා වල සංකලනයක් ලෙස අපි ලෝකය වටහා ගන්නා හෙයින්ය. මෙම අත්දැකීම් වලට අනුව කැමැත්ත නැතහොත් තණ්හාව පහළවීම ස්වභාවිකය. අසතුටට අපේ ඇති අකමැත්ත නිසා එය පහව යනවා දැකීමට කැමැත්තක් හා සතුටට අපේ ඇති කැමැත්ත නිසා එය තවදුරටත් පවතිනවා දැකීමට කැමැත්තක් පහළ වේ. මේ අනුව වේදනා හේතු කොට ගෙන ස්වභාවිකවම ආසාවක්, ඇලීමක්, තණ්හාවක් හට ගනී.

මෙය යොමු කෙරෙන්නේ ඊළඟ අංගයවූ ග්‍රහණය කර ගැනීම හෙවත් උපාදානය වෙතය. ආසා මුදුන්පත් කර ගැනීමට නොහැකි වීම අසතුටට හේතුවක් වන බැවින් හැම විටම අප වෑයම් කරන්නේ ඒවා මුදුන්පත් කර ගැනීමට‍ය. ඒ වෙනුවෙන් අපි දේවල් අයිති කර ගන්නෙමු, ග්‍රහණය කර ගන්නෙමු, යම්යම් ක්‍රියාදාමයන් අනුගමනය කරන්නෙමු. උදාහරණ වශයෙන් අප අධ්‍යාපනයක් ලබා ගන්නේ, රැකියාවක් සොයා ගන්නේ, සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ, නිවසක් මිළදී ගන්නේ, දරුවන් හදාවඩා ගන්නේ, ආගමක් පිළිපදින්නේ, දේශපාලන මතවාද ගොඩනගා ගන්නේ මේ සඳහාය. කොටින්ම අප අදහන ආගම ගැන සිතා බලන්න. අප බෞද්ධයෙකු වූයේ මන්ද? එය, අප විඳින්නාවූ දුක තුනී කර ගනිමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඇති ආසාව මුදුන්පත් කර ගැනීම සඳහා අනුගමනය කරන පිළිවෙතක්ය. අපි නිවසක් අයිති කර ගන්නේ මන්ද? නිවසක් තුළ ඇති වතාවරණය සතුට දනවන දේවල් වල යෙදීම සඳහා ඉතා යෝග්‍යය. අප ආහාර අනුභව කරන්නේ නිවෙස තුළදීය. එය ගිමන් හැරීමට, සුවපහසු අන්දමින් කාලය ගත කිරීමට සුදුසු ස්ථානයක්ය. විනෝදය ගෙන දෙන දේවල් වල අප යෙදෙන්නේ එතුළදීය, දරු පවුල සමඟ දිවි ගෙවන්නේ එතැනය, පිටත ලෝකයෙන් ඈත්වී අප ආරක්ෂාව සොයා යන්නේ එතැනටය. නිවසක් අයිති කර ගැනීම ජීවිතයේ අප බලාපොරොත්තු වන බොහොමයක් ආසාවන් සපුරා ගැනීම සඳහා බෙහෙවින් උපකාර වේ. නිවහනකට පුද්ගලයින් බලවත් ආසාවක් ඇති කර ගන්නේ එහෙයින්ය. සහකාරයෙක් හෝ සහකාරියක් සමඟ එක්වීම ආසාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අප යොදා ගන්නා තවත් උපක්‍රමයක්ය. එමගින් ලබා ගන්නා සතුට නිසා අපි ඔවුන්ට බලවත් ලෙස ඇලෙන්නෙමු. තවත් අතකින්, අප යොදා ගන්නා උපක්‍රම අතර සම්භාවනීය ගණයේ උපක්‍රමද වෙත්. බෞද්ධයන් වශයෙන් භාවනාවට නැඹුරු ආධ්‍යාත්මික ජීවන රටාවක් අපි තෝරා ගන්නෙමු. එහිදී අප උපායශීලී වන්නේ එමගින් ලබන මානසික සැනසීම වැඩි දියුණු කර ගැනීමටය. නමුත් මේ දෙයාකාරයේම උපක්‍රම එකිනෙකට පරිබාහිරව පවතින ඒවා නොවේ. බොහොමයක් බෞද්ධයින් ඒ සඳහා ලෞකික සහ ආධ්‍යාත්මික ක්‍රියාදාමයන්ගේ මිශ්‍රණයක් අනුගමනය කරති.

මෙයින් අප යොමු වන්නේ පටිච්ච සමුප්පාදයේ ඊළඟ අංගය වන පැවැත්ම නොහොත් භවය වෙතය. ඒ ඒආකාරයේ ක්‍රියාදාමයන් අනුගමනය කිරීම හේතු කොට ගෙන අපේ ජීවිත යම් රටාවකට අනුව හැඩගැසීමෙන් අපේ පැවැත්ම එක්තරා ස්වරූපයක් ගනී. බොහොමයක් පුද්ගලයින් ඉන්ද්‍රිය පිනවීම  පදනම කොට ගෙන ඊට අනුරූප ක්‍රියාදාමයන් ‍තෝරාගන්නා නිසා ඔවුන් ගත කරන්නේ ඉන්ද්‍රිය පිනවන  පැවැත්මක්ය. ඔවුන්ගේ සිත්සතන් පිරී ඇත්තේ කාම භෝගී අදහස් උදහස් වලින්ය. එම නිසා ඔවුන්ගේ විඤ්ඤානය එම කාම භෝගී තලයෙහි මුල් බැස ගනී.කෙසේ වෙතත් සමාධිය ගෙන දෙන සුවය හඳුනා ගැනීමට හැකියාව ලත් භාවනායෝගියා, කාම භෝගී සුවයට වඩා සමාධිය සුවය අගයන බැවින් ඔහුගේ මනස සමාධි අවධීන් වෙතට නැඹුරු වේ. භාවනාව ගැඹුරු වන තරමට, ඔහු මනස පදනම කොට ගත් පැවැත්මක් ගත කරන බැවින් ඔහුගේ විඤ්ඤානය මුල් බැස ගන්නේ එවැනිම තලයකය. මෙම ප්‍රවණතාවය අපට පෙන්නුම් කර දෙන්නේ තරහ, සෘණවාදී අදහස් උදහස් බහුල පැවැත්මක ඇති අවදානමය. මෙවැනි අඳුරු දුක්බර මානසික අවධීන් බහුලවූ තරමට එම පැවැත්මද අඳුරටම හුරු වන නිසා විඤ්ඤානය මුල් බැස ගන්නේ එම අඳුරෙහිමය. අපේ පැවැත්ම සකස් වන්නේ සැප ලුහු බැඳීමට සහ දුක පිටු දැකීමට අප යොදා ගන්නා උපක්‍රමයන්ට අනුකූලවය. අපේ පැවැත්ම යම් ස්වරූපයක් ගන්නේද, ඒ අනුව කර්ම රැස්වීම සිදු වන්නේය. මේ ආකාරයෙන් අපේ පැවැත්ම මඟින් විඤ්ඤානයෙහි හැඩ ගැස්ම අප තහවුරු කර ගන්නෙමු.

උපත ඊළඟ අංගයයි. එක්තරා ආකාරයකට අපි පැවැත්ම ගෙන යන නිසා ඊට අනුරූපව අපේ විඤ්ඤානය ස්ථාපිත වේ. අපේ මරණය සිදුවන විට යම් තලයක අපේ විඤ්ඤානය මුල් බැස ගෙන හමාරය. අප නැවත උපතක් ලබන විට විඤ්ඤානය කොතැනකටවත් යායුතු නොවන්නේ අප ගත කළ ජීවිතයට අනුව යම් තලයක, විඤ්ඤානය, දැනටමත් මුල් බැස ගෙන ඇති හෙයින්ය. ශරීරය කැඩී බිඳී ගියත්, පෙර පුරුදු වලට අනුව, විඤ්ඤානය දිගටම ගලා ගෙන යන්නේය. විඤ්ඤානයෙහි මෙම අඛංඩවූ පැවැත්ම අන්කිසිවක් නොව නැවත ඉපදීමය. ඉන්ද්‍රියන් පිනවීමට දැඩි ලොල් බවකින් හා ඊටම නැඹුරුවූ ගති පැවතුම් වලින් යුතු ජීවිතයක් අප ගත කළේ නම් ශරීරය කැඩී බිඳී ගොස් මරණය ළඟා වන මොහොත එළඹෙන විටදීත්, කාම භෝගී සුඛ විහරණයෙහිම මනස ඇලී ගැලී පවතින නිසා, එවැනි තලයකම නැවත උපතක් ලැබීමට නැඹුරුවක් ඇත්තේය. ඔබ පලපුරුදු භාවනායෝගියෙක් නම් මරණ මොහොතේදී පවා මනස භාවනා සුවයෙහිම ඇලී ගැලී පැවැතීමටබොහෝ විට ඉඩ ඇත. ශරීරය අත් හරින විට එවැනි පුද්ගලයෙකුගේ මනස පිහිටා ඇත්තේ සාමකාමී තලයකය, එහෙයින් එය ඔහුගේ නැවත උපත වන්නේය. කර්මයට අනුව නැවත උපත සිදුවන්නේ මේ ආකාරයටය.

(නමුත් මෙතැනදී, නැවත උපත සිදුවන ආකාරය විදහා දැක්වූයේ ඉතා සරලවය යන බවට මා අනතුරු අඟවා සිටිය යුතුය. ඇත්ත වශයෙන්ම මරණ මොහොත ඉතාමත් සංකීර්ණය; පෙර කර්මයන් ඵල දරණ මොහොත මරණ මොහොතය; වාසනාවන්ත හෝ අවාසනාවන්ත මරණයකට අනුරූපව සාමාන්‍ය මට්ටමේ පවතින විඤ්ඤානය අවසාන මොහොතේ වෙනස් විය හැකිය; පෙර කරන ලද හොඳ හෝ නරක ක්‍රියා මරණ මොහොතේදී සිහියට නැගීමෙන් මනසෙහි සොම්නස හෝ දොම්නස මතු විය හැකිය.)

මේ මුළු ක්‍රියාදාමය සිදුවන ආකාරය දැන් ඔබට වටහා ගත හැකිය. ආසාවන්ට ඇලීම නිසා එම ආසාවන් මුදුන් පත් කර ගැනීමට අපි නොයෙකුත් උපක්‍රම යොදා ගන්නෙමු. අපේ ජීවිත හැඩ ගැසෙන්නේ මෙම උපක්‍රමයන්ට, ක්‍රියාදාමයන්ට අනුරූපවය. එම නිසා ඒ ඒ පැවතුම් වලට අනුව අපේ විඤ්ඤානය ඊට සුදුසු තැන්වල මුල් බැස ගනී. ඒ අනුව අපට නැවත උපතක් ලැබේ. නැවත උපත හේතු කොට ගෙන, ගත කරන අළුත් පැවැත්මට අනුරූපව අපි දුකට පත් වන්නෙමු, දිරා ගොස් වයස් ගතවී මරණයට පත්වන්නෙමු. මෙසේ අපි සංසාරයෙහි සැරිසරන්නෙමු.

මූලික ප්‍රශ්නයවූ අවිද්‍යාව මෙයට බලපාන්නේ කෙසේද? සතුටුදායක හෝ අසතුටුදායක වේදනාවන්ට අනුකූලව තණ්හාවක් අපි ඇති කර ගන්නේ අවිද්‍යාව මතය. මෙම වේදනා පාලනය කිරීමට සහ අපේ සිතැඟියාවන්ට ගැලපෙන අන්දමේ දේවල් ලබා ගැනීමට හැකියාවක් ඇතැයි අප සිතන නිසාද මෙම තණ්හාව මතු වේ. වේදනාව පාලනය කිරීමට හැකියාවක් ඇතැයි යන හැඟීම, අවිද්‍යාවෙහි මූලිකාංගයක්ය. අවශ්‍ය පමණට වඩා දුකක්, වේදනාවක් අපි ජීවිතයේදී අත් විඳීමට පුරුදුවී සිටින්නෙමු. ඒ මන්ද? දේවල් පාලනය කිරීමට නොහැකි බව කොතෙකුත් අපි අත් විඳ ඇතත්, එම අදහස අත් හැරීමට ඇති අකමැත්ත එයට හේතුවය. ඉතා පැහැදිලිව පෙනෙන, පාලනය කිරීමට නොහැකි දුක් වේදනා ලෙස ලෙඩ රෝග, මහළු වයස හා මරණය උදාහරණ ලෙස දැක්විය හැකිය. අවාසන්ත නැවත උපතකට හිමිකරුවෙකු වේය යන හැඟීම පවා ගෙන දෙන්නේ බලවත් දුකක්ය, බියක්ය. කොතෙක් වෙර වැඩුවත්,අවසානයේදී මේ සෑම දෙයක්ම සිදුවන්නේ අපේ පාලනයෙන් තොරවය. වේදනා අපට පාලනය කර ගත නොහැක්කේ ආත්මය ලෙස සැලකීමට කිසිවක් මෙතැන නොමැති නිසාය. වේදනා හට ගන්නේ හේතුප්‍රත්‍යන්ට අනුකූලව මිස තම තමන්ගේ ඕනෑ එපාකම් වලට අනුව නොවේ. ඒවා මෙහෙයවන කෙනෙක්ද නැත. ආත්මයක් ඇතැයි යන මුලාව මගින් ඇති කෙරෙන, තමන් පාලකයෙකුය යන හැඟීම නිසා, සුඛ සහගත වේදනා විඳීමට අපි තණ්හාවක් ඇති කර ගන්නෙමු. ඉහත පෙන්වා දුන් ආකාරයට මෙම තණ්හාව නිසා සිදු වන්නේ නැවත උපතකට හිමිකරුවෙකු වීමෙන් නැවතත් දුකට පත්වීමය. කෙටියෙන් මේ පෙන්වා දුන්නේ අවිද්‍යාව, දුකකට පරිවර්තනය වන ආකාරයය.

දුකින් මිඳීම සඳහා අවිද්‍යාව දුරු කර ගත යුතු බව පටිච්ච සමුප්පාදය මගින් පෙන්නුම් කර දෙන්නේ කෙසේද? ශරීරික හෝ මානසික වේදනා පාලනය කිරීමට හැකියාවක් නොමැති කම ගැන මඳකට සිතන්න. එවැනි පාලනයක් ඔබ සතු නොවේ නම් තණ්හාවක් ඇති කර ගැනීමෙන් සිදුවන යහපත කුමක්ද? වේදනා පාලනය කිරීමට ඔබට හැකියාවක් නොමැති නම් සොබාදහමට අනුව ඒවා මතුවී පසුව යටපත්වී යන අන්දම හොඳින් බලා සිටින්න. හටගන්නා ඉතා සුළු දුකක් වූවත් ඔබ අත්විඳිය යුත්තේ ඒ ආකාරයෙයැයි පැවසීම, ඔබට අස්වැසිලිලක් ගෙන නොදුන්නත්, සත්‍යය එයය. තණ්හාව ඇති කර ගැනීමෙන් සහ පාලනය කිරීමට යාමෙන් අප සිදු කර ගන්නේ දුක වර්ධනය වීමට මග පාදා ගැනීමක්ය. බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළේ ආත්මයක් නැති බව අවබෝධ කර ගැනීමෙන්, වේදනා පාලනය කිරීමට ඇත්තවශයෙන්ම අපට හැකියාවක් නොමැති බව හා එයින් සිදුවන අනර්ථය කෙනෙකුට පැහැදිලි වන බවය. මෙම අවබෝධය මගින් අවිද්‍යාව දුරුවී යන්නේය. තණ්හාවෙන් මිඳුණු කල ආසාවන් මුදුන් පත් කර ගැනීම සඳහා උපක්‍රමයන් සොයා යාමට තවදුරටත් අවශ්‍ය නොවේ. සෑම උපක්‍රමයක්ම හා ක්‍රියාදාමයක්ම අත් හැරුනු විට, මොනයම් ආකාරයක හෝ ග්‍රහණය කර ගැනීමක් හෝ අල්ලා ගැනීමක් සිදු නොවන නිසා ඔබේ පැවැත්ම යම් රටාවකට අනුව හැඩ ගැසෙන්නේ නැත. එහෙයින් ඔබේ විඤ්ඤානය කොතැනකවත් මුල්බැස නොගනී. මොනයම් දෙයක් ඇසුරෙහිවත් විඤ්ඤානය පැවැත්මක් ඇති කර නොගන්නා නිසා මරණ මොහොතේදී ශරීරය අත්හැර දමන විට, විඤ්ඤානය, කාමභෝගී තලයකට හෝ අධි මානසික තලයකට හෝ වෙන මොනයම් තලයකටවත් අයත් නොවේ. එයින් නිගමනය වන්නේ නැවත උපතක් හට නොගන්නා බවය. උපතක් නැති කල දුකක් හෝ මහළු වයසක් හෝ මරණයක් ඇත්තේ නැත. අවිද්‍යාව දුරු කර ගැනීම, දුකින් මිඳීමට පරිවර්තනය වන්නේ මේ ආකාරයෙන්ය.

සෑම උපතකම අවසානය දැකීම ඉතා දුරස්තර ඉලක්කයක් ලෙස දැන් ඔබට පෙනෙන්නට පුළුවන. නමුත්, නැවත උපත අවසානයකට ගෙන ඒම සම්පුර්ණ කර ගැනීමට අපට නොහැකි වූවත්, යම් පමණකට හෝ අවිද්‍යාව අඩු කර ගැනීමට හැකි වුවහොත්, ඊට ගැලපෙන මට්ටමින් මතු විඳින දුකෙහිද අඩුවක් ඇතිවන බව අප මෙහිදී මතක තබා ගත යුතුය. තණ්හාව අඩුවූ විට ඔබ සෑහීමට, සැනසීමට පත් වන්නේය. එමගින් මේ භවයේදී සැනසුනු ජීවිතයක් ගෙන යාමට ඔබට හැකි වන අතර මතුවදී හොඳ උපතක් ලබා ගැනීම සඳහාද එය පිටුවහලක් වන්නේය.

මෙහි මා ඉදිරිපත් කළේ පටිච්ච සමුප්පාදය පිළිබඳ කෙටි විස්තරයක්ය. අවිද්‍යාව හේතු කොට ගෙන හට ගන්නා නැවත උපත, දුකට මූලික හේතුව වන්නේ කෙසේදැයි එමගින් මම පෙන්වා දෙන ලදිමි. නැවත උපත මෙම ක්‍රියාදාමයෙහි මූලික කොටසක් වන බව වටහා ගැනීමෙහි වැදගත් කමක් ඇත. දුක හටගැනීමට ආසන්නම හේතුව නැවත උපත වීම ඊට හේතුවය. නැවත උපතක් නැති නම් විසඳීමට ප්‍රශ්නයක්ද නැත. මනුෂ්‍යයෙකු ලෙස උපත ලබා එක් භවයකදී අප විඳින දුක ගැන සලකා බලද්දී එහි එතරම් බරපතල කමක් පෙනෙන්නට නැත. නමුත්, විසඳා ගැනීමට ඇති බලවත්ම ප්‍රශ්නය ලෙස ඇත්තේ නිමක් නැතිව සිදුවන උපත් හා මරණ අතර තුළදී අපට විඳීමට සිදු වන ඉමහත් දුක් කන්දරාවය. දුක්ඛයෙහි සැබෑ ස්වරූපය වටහා ගත් විට, නැවත උපත, පටිච්ච සමුප්පාදයෙහි වැදගත් කොටසක් වන්නේ මන්දැයි හොඳින් පැහැදිලි වන්නේය. එහෙයින් අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා අප කළ යුතුව ඇත්තේ ආර්ය අශ්ඨාංගික මාර්ගය මැනවින් පුහුණු කිරීමය. අවිද්‍යාව ඉවත් කර ගැනීමෙන් නැවත උපතෙහි අවසානය දැකිය හැකිය. නැවත උපතක් නැති කල එය දුකෙහි අවසානයද වන්නේය.

Leave a comment