ක්‍රිස්ටීනා ෆෙල්ඩ්මන් මහත්මිය
අපේ මනස නමැති භූමිකාවේ අපට විපත් පමුණුවන ඇලීම, ද්වේශය, අලසකම හා නිදිමත, නොසන්කම හා පසුතැවීම, සහ සැකය (පංච නීවරණ) නමැති පීඩකයන් වෙනුවෙන්පෙනී සිටින මාරයා පහරදීමට පැමිණියේ, බෝසතුන් බුද්ධත්වයට එළබීමට මොහොතකට පෙරය. මෙම කථාන්තරයේ පෙන්නුම් නොකෙරෙන, නමුත් අපට බලවත්සේ දුක්පීඩා පමුණුවන තවත් පීඩකයෙක් වන ඇතුළත විවේචකයාගේ හඬ ඊට ඇතුළත් වී නොමැත. ජීවිතයේ සම්බන්ධතාවයන් කණපිට පෙරලන, සුභසාධනයට හරස්වන, දිනක් නෑර වධහිංසා පමුණුවන තැනැත්තා මොහුය. අපකීර්තිය, දොස්දැකීම, හෙළාදැකීම, අවඥාව සහ තරහ යනාදිය අතරින් නිරතුරුවම ඇසෙන්නේ මේ ඇතුළත විවේචකයාගේ හඬය. අප බොහෝ දෙනෙක් මේ හඬට කොතෙක් දුරට හුරුවී ඇත්දැයි පවසනවා නම් අපට එය දැනෙන්නේ ඒවා හදවතෙහිම කොටසක් ලෙසටය.
විනිශ්චයකාරී මනසේ ස්වභාවය විපරම් කර බැලීමට මත්තෙන්, ඇතුළත ව්වේචකයාගේ හඬත්, පැහැදිලිව දැකීමට හා වෙන්කොට හඳුනාගැනීමට අපට ඇති බුද්ධිමය හැකියාවත්, අතර වෙනස හොඳින් වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය. භාවනාකිරීමට අප භාවනා මෙට්ටය මතට පමුණුවන්නේත්, අන්තරාය සහ දුක්පීඩා කෙළවර කරගැනීමේ අරමුණින් කළ යුතු දෑ වෙත අප යොමුකරවන්නේත්, මෙම විචක්ෂණ බුද්ධියයි. කථාවෙන් සහ ක්‍රියාවෙන් සිදුවන සෑම යහපත් දෙයකම මූලයද මේ විචක්ෂණ බුද්ධියයි. විචක්ෂණ බුද්ධිය සදාචාරයත්, කරුණාවත් ප්‍රඥාවත් පිහිට කරගනිමින්, මොහොතින් මොහොත අපට උගන්වන්නේ; අපත්, අන්අයත් තුළ ඇති බුදුගුණ සොයා ගැනීමටය.
නමුත් ඇතුළත විවේචකයා වෙනත් ආකාරයක සත්වයෙක්ය. ඇතුළත විවේචකයා අප සමඟ භාවනා මෙට්ටය මත හිඳගත්තත්, ඔහු ඒ සමඟම පවසන කථාන්තරයෙන් ඔහු අපව හඳුන්වා දෙන්නේ, අප වැඩකට නැති, කිසිවක් කරකියා ගත නොහැකි අයෙක් ලෙසටය. ඔහු ළඟ සිටියදීම, අපි කථාවෙහි සහ වැඩ කටයුතු වල යෙදුනත්; ඔහු දැනුවත්ව සිටියදීම, අප නොයෙකුත් තීරණ ගත්තත්, අවසානයේදී අපට හැඟෙන්නේ ඒ කටයුතු සම්බන්ධව කෙළවරක් නැති විවේචනයන්ට ඔහු අප භාජනය කරන බවය. විවේචනාත්මක මනස ඒ සඳහා පිහිටාධාර කරගන්නේ ප්‍රඥාවෙන් හෙඹි දේවල් නොව ද්වේශය, සැකය, අප්‍රසන්නතාවය හා බිය වැනි මාරයා ඇසුරු කොට පවතින දේවල්ය. දුක කෙළවර කරගැනීමටත්, ප්‍රඥාන්විතව කෙරෙන කථාවෙහි සහ ක්‍රියාවන්හි යෙදීමටත්, විවේචනාත්මක හදවත මුල්වන්නේ බොහෝ කලාතුරකින්ය. විවේචනාත්මක මනස දුක් සහගතය, එය දුක තවතවත් බලවත් කරයි.
විචක්ෂණ බුද්ධිය අපට අත්‍යවශ්‍යවන අතර අප එය දියුණු කරගත යුතුය. විනිශ්චයකාරී මනස ඔබේ මනාපයයි; එය තේරුම්ගෙන ප්‍රඥාව උපයෝගී කරගැනීමෙන් අත්හැර දැමිය හැකි දෙයක්ය. තෝමස් මර්ටන් නමැති ක්‍රිස්තියානි ශාන්තුවරයා පැහැදිලි කරන්නේ දයාව තුළින් උපදින, සත්‍ය සොයා යාම, ආධ්‍යාත්මික මාවතේ සාරය බවය. බෝරුක මුලදී බෝසතුන්හට මාරයාගේ බලය මැඬලීමට හැකිවූයේ, ඔහු දෙස සෘජුව බලා “මම ඔබ හඳුනමි” යනුවෙන් සරලව ප්‍රකාශ කිරීමට උන්වහන්සේට තිබූ හැකියාව තුළින්ය. එම සරල වචන කිහිපයෙන් පෙන්නුම් කෙරෙන්නේ සිද්ධාර්ත කුමරුන්ගේ හදවතේ හටගත් බලගතු පෙරලියේ අනුරාවයයි. මාරයාගේ තර්ජනයට හා යටත් කරගැනීමේ උත්සාහයට බිය නොවී ඔහු සමඟ සංවාදයකට මුල පුරා, එම තර්ජන ගර්ජන අවසානයකට ගෙන ඒම එම පෙරලියයි.
අපේ ජීවිතවලට ඉමහත් දුක් ගැහැට පමුණුවන විනිශ්චයකාරී මනස තේරුම් ගැනීම අපේ පුහුණුවෙන් අයින් කර තැබිය නොහැකිය. අනෙකුත් පීඩාකාරී උද්වේගයන්ට නිර්භයව මුහුණ දෙමින් ඒවා මෙනෙහිකර බලන ආකාරයටම විනිශ්චයකාරී මනස සමඟද අප කටයුතු කළ යුතුය. ද්වේශ කිරීම, පිටුදැකීම හෝ යටගසා ගැනීම විනිශ්චයකාරී මනසකට අප දැක්විය යුතු ප්‍රතිචාරය නොවේ. ඒ සඳහා අවශ්‍යවන්නේ දයාව සහ අවබෝධයයි. එක්තරා ‘සෙන්’ භාවනා ගුරුවරයෙකුගේ අදහසට අනුව නිදහස් වීමේ පුහුණුව අරඹන්නේ තමන් වෙත දයාව ඇතිකර ගැනීමෙන්ය. එමෙන්ම, තමන් වෙත අවිවේචනාත්මක මනසක් ගොඩනඟා ගැනීම, සෑම සත්වයෙකු වෙතම සැබෑ කරුණාව ඇති කරගැනීමේ ප්‍රයත්නයට මූලික වන්නේය.
මෙම ක්‍රියාදාමය අප ආරම්භ කළ යුත්තේ විවේචනාත්මක මනස කොයි ආකාරදැයි සහ ඇතුළත විවේචකයාගේ ග්‍රහණයෙන් මිදීමෙන් අදහස් කරනනේ කුමක්දැයි විමසා බැලීමෙන්ය. අත්දැකීමෙන්ම මෙම ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා අපේ අවධානය විවේචනාත්මක මනස වෙතට යොමු කොට, එය පමුණුවන වේදනා පහන් සිතින් බාර ගත යුත්තේ, අපේ ශරීරයේ පවතින වේදනාවක් හෝ වෙනත් අයෙකුගේ සන්තාපයක් හමුවේ අපේ සිහිකල්පනාව පවත්වා ගන්නා ආකාරයටමය. මනසේ ව්‍යාකූලත්වය මඟින් අඳුරු බවක හෝ පැටලුනු බවක හැඟීමක් ඇති කරන සෑම දෙයක්ම, හරිහැටි දැකීම, තේරුම් ගැනීම හා ඒවායින් නිදහස් වීම සිහිකල්පනාවේ හරයයි. සිහිකල්පනාව ලෙසින් හඳුන්වන්නේ සෑම මොහොතක්ම උණුසුමකින්, විමසිලිමත්කමකින් හා දයාවෙන් යුතුව මුළුමණින්ම තේරුම්ගැනීමට මේ මොහොතේ ඔබට ඇති දැනුවත්කමය; ඔබේ අත්විඳීම පිළිබඳව මේ මොහොතේ ඔබට ඇති දැනුවත් බවය. මෙලෙස නිතරම පවත්වාගන්නා අවධානයේ ආධාරයෙන් අපට හොඳින්ම පෙනීයන්නේ, විශේෂයෙන්ම විවේචනාත්මක මනස ඇතුඵ ඕනෑම දෙයකට බිය වීමට හෝ ද්වේශ කිරීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බවය. කරුණාව දැක්වීමට සහ නිදහස් වීමට එරෙහිව පැන නඟින බලගතුම බාධකය වන්නේ, ඇත්තවශයෙන්ම ජීවිතයේදී අප මුහුණ දෙන වේදනා හා විපත්ති නොව, මේ මොහොතේ මුහුණදෙන එවැනි සරල සත්‍යතාවයන් පිළිගැනීමට ඇති බිය සහ නොකඩවා ඒවා විවේචනය කිරීමට අපට ඇති පුරුද්දය. විවේචනාත්මක මනස අතුරුදහන්වී යනතෙක් බලා නොසිට, එය අපට උගන්වන්නේ කුමක්දැයි අප විමසා බැලිය යුතුය. තමන් අන්අයට වඩා උසස්, පහත් හෝ සමයයි විනිශ්චය කිරීම ගැන ගැඹුරටම මෙනෙහි කරබැලීමෙන් එය මැඬපවත්වා ගෙන ඔබට නිදහසේ ජීවත්විය හැකිය. හැමවිටම වැරදි සෙවීමෙහි යෙදුනු හා නොරිස්සීමෙන් ඉහවහා ගිය මනසක් උරුම කොට ගෙන අප උපත ලබා ඇතැයි මතුපිටින් පෙනුනත්, සත්‍යතාවය එය නොවේ. යම්යම් දේවල් දැකීමට සහ සැසඳීමට අප උගත් ආකාරය එය වූවත්, එම දැනුම අමතක කළ හැකිය. විවේචනාත්මක මනස දෙස ලංවී බැලූ විට අපට පෙනීයන්නේ එයට සත්‍යතාවය වැටහෙන්නේ ඉතා කලාතුරකින් බවය; දකින දෙයක් වූවත් පූර්ණවශයෙන් එය නොදකින බවය. විවේචනාත්මක මනස මෙහෙය වන්නේ, අප ගැන හෝ අන්අය ගැන අතීතයේ සිට අප ගොඩගසා ගෙන ඇති තොරතුරු සත්‍යම දේ ලෙස බාරගැනීමට අප තුළ ඇති බලගතු පුරුද්දය. යහළුවෙකුට දුන් දුරකථන ඇමතුමකට කඩිනම් ප්‍රතිචාරයක් නොලැබීම වැනි සුළු දෙයක් වූවත්, ඔහු හැඟීමක් නැති පුද්ගලයෙක්ය හෝ ඒ ගැන සැලකිල්ලක් දැක්වීමට තරම්වත් ඔහුට අප නොවටනේය යන හැඟීම තහවුරු කරගැනීම සඳහා සිත අවුලට පත්කරන සිතිවිලි ධාරාවක මුල පුරා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය. කලින් යොදාගත් කටයුත්තකට සහභාගි වීමට පමාවූ මොහොතේ සිටම ඇතුළත විවේචකයා දිගින්දිගටම පවසා සිටින්නේ අප සිහිකල්පනාවක් නැති පරාජිතයෙක් බවය. සත්‍යතාවය සොයා ගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි වෙනත් මාවතක් ඇති බව මෙතැනදී අප තේරුම් ගන්නේ භාවනාවෙහි යෙදීමෙන්ය.
‘සූෆි’ දර්ශනයේ සඳහන් වන්නේ සිතිවිල්ලක් ඇතුළට ගැනීමට පෙර දොරටු තුනකදී අප එය පරීක්ෂාවට ලක්කළ යුතු බවය. මුල් ආරක්ෂිත දොරටුවේදී සිතිවිල්ල පිළිබඳව අප විමසා බලන්නේ “එය ඇත්තක්දැයි?” දැනගැනීමටය. එය එසේ නම් දෙවෙනි ආරක්ෂිත දොරටුව වෙත යාමට අවසර ඇත. එතැනදී ප්‍රශ්න කර සිටින්නේ “එය අපට අවශ්‍යද? ප්‍රයෝජනවත්ද?” යන්නය. එයත් සත්‍යයක් නම් තුන්වන දොරටුව වෙත යාමට අවසරදී, එතැනදී ප්‍රශ්න කළ යුත්තේ “මේ සිතිවිල්ල මතුවී ඇත්තේ දයාව කරුණාව පෙරදැරි කර ගෙනද?” යන්නය. සත්‍යයෙන් තොර නිශ්ප්‍රයෝජනවත්, අකරුණාවන්ත, විවේචනාත්මක සිතිවිලි එම දොරටුවේදී සිඳී, බිඳී, වියලී යාමට අප ඉඩහළ යුතුය.
බෝගස මුලදී, බෝසතුන්හට සිහිවූ දුක්පීඩා පමුණුවන දේ අතරට විවේචනාත්මක මනස ඇතුළත් නොවූයේ මන්දැයි මෙහිදී අපට තවදුරටත් විමසා බැලිය හැකිය. විනිශ්චයකාරී මනස එක්තරා බාධකයක් හෝ සන්තාපයක් වැනි දෙයක් නොව බාධක කිහිපයකම සංයෝජනයක් වීම, බොහෝ විට එයට හේතුව විය හැකිය. ඇතුළත විවේචකයා ක්‍රියාත්මකව පවතින එක් මොහොතකදී හෝ අප ඒ ගැන විමසා බලන්නේ නම් පංච නීවරණයන්ගේ (බාධක) සැඩපහරට එය භාජනය වී ඇති අයුරු ඔබට පෙනී යනු ඇත.
අප ගැන හෝ අනුන් ගැන අප තදින් ග්‍රහණය කරගෙන සිටින උත්කෘෂ්ටයයි අපට හැඟෙන අදහස් හෝ ඇති කරගන්නා බලාපොරොත්තු, එක්තරා අන්දමකින් තණ්හාවක නැතහොත් ඇලීමක ස්වරූපය ගනී. අපහසුතා මඟහරවා ගැනීමේ අටියෙන්, මතු බලාපොරොත්තු හෝ සිදු නොවිය යුතුයයි සිතෙන දේවල් නිසා නිමක් නැතිව මතුවන සිතිවිලි හා චිත්තවේගයන් ඇති කරන්නේ නොසන්සුන්කම හා පසුතැවීමය. නොවිය යුතු දේවල් සිදුවන විට, බලාපොරොත්තු බිඳ වැටෙන විට, අප කෙරෙහි හෝ අනුන් කෙරෙහි හට ගන්නේ ද්වේශය හෝ අකමැත්තය. අපේ වටිනාකම, හොඳකම, බල පුළුවන්කාරකම ගැන සැකය ඉස්මතුවන්නේ අප සිතා සිටිනවාටත් වඩා බලවත් ආකාරයකින්ය. ඒ අතරම, නෂ්ටාපේක්ෂාව, මුළුගැන්වීම, එපාවීම, හකුළුවා ගැනීම, ගොළුවත රැකීම වැනි විලාසයකින් වෙස්වලාගෙන අප වෙත පැමිණෙන්නේ අනෙකක් නොව අලසකමය. ග්‍රහණය කරගත් මෙම පීඩාකාරී බාධක ගොනුව මත ඇති කරගන්නා, අප කව්රුන් වේද? කව්රුන් නොවේද? යන විශ්වාසයන් හැමවිටම ඉන්ධන සපයන්නේ, මෙම පීඩාකාරී චිත්තවේගයන් පණගන්වා තැබීම සඳහාය. සත්‍යාවබෝධ කරගැනීමේ මග අපට ආරාධනය කර සිටින්නේ මෙම ග්‍රහණය කරගැනීමෙන් ඇතිවන බලපෑම් ලිහිල් කරගන්නා ආකාරය ඉගෙනීමට සහ අප හා අන්අය තුළ ඇති සත්‍යවාදී බව නැවත සොයා ගැනීම සඳහා ඇතුළත විවේචකයාගේ වාස භූමිය හොඳින් අවබොධ කරගැනීමටත්ය. මෙමග තවදුරටත් අපට පෙන්නුම් කර සිටින්නේ, මෛත්‍රීය අප වෙතත් අන්අය වෙතත් පතුරුවා හරිමින්, සිතිවිල්ල සිතිවිල්ලක් ලෙස තේරුම්ගෙන, එය සත්‍යතාවයේ හොරණෑව ලෙස බාර නොගන්නා ලෙසටය. මෙමගෙහිදී, ස්වයං විනිශ්චය, අන්අය ගැරහීම හා විවේචනය යනු අකමැත්තෙන් හා ද්වේශයෙන් පිරුණු සිතිවිලි මිස අන් දෙයක් නොවන බව තේරුම් ගැනීම අප අරඹන්නේය. ගැඹුරින් මෙය තේරුම් ගැනීමෙන් ලබාගන්නා බලගතු නිදහසත් සමඟම ද්වේශයද අත්හැර දැමීමට අපට හැකිවන්නේය.
අප මනස නැඹුරු කරගන්නා දේවල් වලට අනුරූපව අපේ මනස හැඩගැසෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. නින්දා කිරීම, හෙළා දැකීම, තරහ පෙන්වීම ආදී වශයෙන් අප ද්වේශය ඇතුළතටත් පිටතටත් පතුරුවමින්, එයින්ම සිත පුරවාගෙන කල් හරින්නේ නම් අපේ මනස නැඹුරුවන්නේ දකිනදකින සෑම දෙයකම දොස් දැකීමටය. “වෙළඳ පොලේදී මුදල් පසුම්බි සොරකම් කරන්නෙකුට සාන්තුවරයෙක් මුණගැසුණු විට සොරාට පෙනෙන්නේ සාන්තුවරයාගේ සාක්කු පමණක්ය” යනු ඉන්දියානු කියමනක්ය. පුරුද්දට හා දැනහිඳීමට එක්ව සිටීමට නොහැකිය. නිමක් නැතිව රැව්පිළිරැව් දෙන ඇතුළත විනිශ්චයකරුවාගේ හඬට, මදක් නතරවී ඇහුන්කම් දීමට අප ඉගෙනුම ලබාගෙන, එය දයාවෙන් යුතුව සිහිකල්පනාවෙන් කොටු කළ යුතුය. මෙවැනි හැඟීමක් සිතෙහි පෝෂණය කරගැනීමට අපට ඇති හැකියාව සිහිකල්පනාවෙහි සැඟවුණු ශක්තියක්ය. අන්අය පිළිබඳව ඇතුළතින් නැගෙන නින්දා, ගැරහීම්, අවලාද, තරහ ආදියෙන්තොර ජීවිතයක් ගතකිරීම පිළිබඳව සිතීමට අප දිරිමත් විය යුතුය. පිටතින් නැගෙන එවැනි දැයට උපේක්ෂා සහගතව මුහුණදීමටද අප ආත්ම ශක්තියක් ගොඩනගා ගත යුතුය. ප්‍රඥාවෙන්, දයාවෙන් හා සාමයෙන් පිරි හදවතකින් යුතු ජීවිතයක් ගැන සිතා බැලීම පවා ගෙන දෙන්නේ ශාන්තියක්ය.